Thursday, 8 March 2012

මාර්තු 09
නිස්සාහි ශු. ග්‍රේගොරි  මුනි තුමා
    
හතර වන සියවස වෙද්දී කිතුනු පීඩන සමය ටිකෙන් ටික දුරුවුණා. පිටත පීඩා නැතිවෙද්දී ඇතුලතින් ධර්මය අලලා ප්‍රශ්න මතුවෙන්නට ගත්ත. පීඩා සමය කෙලවර වුනත්, සභාව තුල සන්සුන්කම මේනිසා පලුදු වුණා. මේ නොසන්සුන්කාලේ, සුළු ආසියාවේ පාරම්පරික කිතුනු පවුලකට දාව ශු. ග්‍රේගොරි මුනිතුමා උපතලබුවා. උන්වහන්සේ 10 දෙනෙකුගෙන් යුත් පවුලේ  3 වෙනියා. ශු. ග්‍රේගොරි මුනි තුමාගේ වැඩිමල්ම සොහොයුරු ශු. සේසාරියේ බැසිල් තුමා, වැඩිමල් සොහොයුරිය මකරිනා, බාල සොහොයුරු නෞක්රටියුස් වගේම සොහොයුරු සෙබස්තෙහි පෙදුරුත් සාන්තුවරු බවට පත්වුණා. ඒවිතරක් නෙවේ ඔහුගේ හොඳම මිතුරු නසියාන්හි ග්‍රේගොරි තුමාත් සාන්තුවරයෙක්.

ග්‍රේගොරි තුමාටත් තමුන්ගේ තාත්තට වගේ දක්ෂ කථිකයෙක්වෙන්න ඕන වුණා. මෙතුමා විවාහයක් කරගත් බවත් ඉතිහාසයේ සදහන් වෙනවා, එයින්ම පැහැදිලිය් මුලින් මෙතුමාට තාපසතුමෙක් වෙන්න අදහසක් හෝ රදගුරුවරයෙක් වෙන්න අදහසක් නොතිබුණු වග. නමුත් පසුව ඔහු තම සොහොයුරාගේ, එකියන්නේ ශු. බැසිල් තුමාගේ තපසාරමයට බොහොම ඇල්මක් දැක්වුවා, පසුව එහි නතර වුණා.
ක්‍රි. ව. 372 දී මෙතුමා රදගුරුවරයෙක් විදිහට නිස්සා කියන (අද තුර්කියේ ) ප්‍රදේශය භාරගත්තා. නමුත් ග්‍රේගොරිට හොඳට කතාකරන්න පුළුවන් කම තිබුනට ඔහු එතරම් ප්‍රයෝගික පුද්ගලයෙක් නම් නෙමේ. බොහොම උගත්, බොහොම සිල්වත් නමුත් පරිපාලනයට දක්ෂකමක් ඔහුට තිබුනේ නැහැ. මෙනිසාම 374 දී සමහරු කියන හැටියට 376 දී ඔහුට රදගුරුවරයත් අහිමි වුණා. 378 වසරේදී නැවත රදගුරුවරයට පත්වුන  මෙතුමා මරණය තෙක්ම එහි කටයුතු සිදුකලා.
381 වසරේදී පවත්වපු දෙවන නිසියානු ජගත් මන්ත්‍රණ සභාවේදී ශු. ත්‍රිත්වයේ දහම, සුදතුම් දහම විකාශනයට, පැහැදිලිකිරීමට, නිවැරදි විශ්වාසය කරා සභාව යොමුකරවන්නට ශු. ග්‍රේගොරි තුමා විශාල මෙහෙයක් ඉෂ්ඨ කළා. මේ නිසාම ශු. බැසිල් තුමා, ශු. නසියන්හි ග්‍රේගොරි මුනිතුමා එක්ක මෙතුමාව "කපදොසියානු පියවරු" ලෙස ප්‍රසිද්ධියට පත් වුණා.

දේව ධර්මය ගැන මෙතුමා අතින් ලියවුනු කෘතීන් බොහොමය්. ඒඅතර "මෝසෙස්ගේ දිවිය" නම්වූ කෘතිය විශේෂය්. මනුෂ්‍යයා පිළිබද, ආත්මය, උත්ථානය සහ පාපවන්දිගේවීම පිළිබද ඔහුගේ විමර්ශනයන් සභා ඉගැන්වීම් අතර විශේෂ වටිනාකමක් ගන්නවා.
ක්‍රි. ව. 395 දී පමණ ස්වර්ගස්ථ වුනු මෙතුමා සභාපියවරයෙක්.
මෙතුමාගේ ශීර්ෂ ධාතුව අද ග්‍රීසියේ අතොස් කදුමුදුනේ පිහිටි "ඉව්රෝන්" තාපසාරාමයේ තිබෙනවා. වතිකානුවේ තිබුණු අනෙකුත් ශුද්ධවූ ධාතු 2000 වසරේදී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සන් දියාගෝ හි මෙතුමා නමින් ගොඩ නගපු අලුත් දේවස්ථානයක තැන්පත් කරා තිබෙනවා.
මාර්තු 08
දෙවිදුන්ගේ ශු. ජුවාම් මුනි තුමා (08-03-1495 සිට 08-03-1550)
 
 
 
     පෘතුගාලයෙන් බිහිවුණු ශු. අන්තෝනි මුනි තුමාව, ලාංකික අපි හැමෝම වගේ දන්නවා. ඒ නිසාම පෘතුගීසි සමයේ උන්වහන්සේව ලංකික කතෝලිකයෝ හැදින්වුවේ "පෘතුගීසි සාන්තුවරයා " කියල. ඒ තරමටම උන්වහන්සේ  ජනප්‍රියය්.
අද මාර්තු 08 වෙනිදා, අදට දීල තියෙන්නෙත් පෘතුගීසි සාන්තුවරයෙක්ගේම මංගල්‍ය දිනයක් තමය්. ඒ දෙවිදුන්ගේ ශු. ජුවාම් (John of God , Portuguese: São João de Deus ) මුනිතුමා.
1495 වසරේ මාර්තු 08 වෙනිදා පෘතුගාලයේ  ජාඕ සිදදේ කියන ප්‍රදේශයේ බොහොම බැතිමත් කතෝලික පව්ලකට දාව ඉපදුන මෙතුමා, දෙමාපිය ආදරය මැද වර්ධනය වුණා. නමුත් මොකක්දෝ හේතුවකට, වයස අවරුදු අට වෙද්දීම මේ පුංචි හිතට දඩබ්බර සිතුවිලි එන්න ගත්ත. ජුවාම් ගැන අපි අහන පළමු දෙයනම් ඒ නිසා ශුද්ධවන්ත ජීවිතයකට ඇතුලුවෙන දරුවෙකුගෙන් එන ආරංචියක් නෙවේ. ඒ ජුවාම් අවරුදු අටේ දී , කාටත් රහසින් ගෙදරින් පැන යන බව. දසපනතේ 4 වෙනි පදය ගැනනම් ජුවාම් ට කිසිම හන්ගීමක් තිබුනේ නැතිවග තම එයින් පේන්නේ. ජුවම්ට ඕන වුණා "ලෝකය දකින්න, ලෝකය විදින්න". එකම පුතාගේ අතුරුදහන්වීම දරාගන්න බැරුව මව සති කීපයකින්ම මියැදෙනවා. ජුවාම් ගේ පියා මාස කීපයක් ජුවාම් එනතුරු බලාන ඉඳන්, බැරිතැන ෆ්රන්සිස්කානු තාපසරමයකට ගිහි සහෝදරයෙක් විදියට ඇතුළුවෙනවා.
ත්‍රාසජනක අත්දැකීම් හොයාගෙන ස්පාග්නයට  (Spain ) යන ජුවාම් නවතින්නෙ එඩේර කොලුවෙක් වෙලා.
එඩේර ගාල අයතිකරුට තමුන්ගෙ  විස්තර නොකියන ජුවම්ට, නෙත්නම් මේ "අහසින් වැටුන" කොලුවට, හාමුපුතා "දෙවියන්ගේ ජුවාම්" කියල නම් තබනවා.
යොවුන් වියට එළඹෙන ජුවාම්ටදෙන ආයෙත් "ලෝකය දකින්න, විදින්න, ත්‍රාසජනක අත්දැකීම් ලබන්න" තමය් හිත. මෙනිසාම බැටළු රස්සාව අතහැර දාල, පස්වෙනි චාර්ල්ස් රෝම අධිරාජයාගේ හමුදාවට ඇතුළුවෙලා සොල්දාදුවෙක් විදියට සේවයකරන්න ඔහු පටන්ගන්නවා.
ඒ කාලේ සොල්දාදු ජීවිතේ කියන්නේ බොහොමයක් දුරට  කිසිම සදාචාරයක් නොදන්නා ජීවිතයක්, දුසිරිත්වලින් පිරුණු ජීවිතයක්. තරුණ ජුවාම මේ ජීවිතේ පතුලටම යනවා. ජුවාම් තුල යම්තරමකට හෝ තිබුන සදාචාරය, ආගමික විශ්වාසය මේ ජීවිතෙත් එක්ක සම්පූර්ණයෙන් අතුරුදහන් වෙනවා. මේ වෙනකොට ජුවාම්ගේ වයස අවරුදු 27 ක්. සොල්දාදුජීවිතේ විවිධ ප්‍රශ්න, චෝදනා වලට ඔහු ලක්වෙනවා. විටක සොරකම් චෝදනාවට පවා ලක්වෙන ඔහුව තම සේවයෙන් නෙරපාහරිනු ලබනවා. කාලයකට පස්සේ ඔහු නැවතත් එඩේර රැකියාවටම හරි එනවා.
එත් හිත නොසන්සුන්, ඔහු හොයපු කිසිදෙයක් ජීවිතේ ඔහුට ලැබෙන්නේ නැහැ. කලකිරීම, හුදකලාව ඔහුව දිනෙන්දින වෙලාගන්නවා. එත් ලෝකේ විදින්න, දකින්න ඔහුගේ තියෙන ආශාවට තවම නැවතුමක් නැහැ. මේ නිසාම ජුවාම් තමන්ගේ අලුත් රැකියාව හැටියට ගෙයින් ගෙට ගිහින් පොත්පත්, පින්තූර අලෙවිකරන්න පටන්ගන්නවා. ගමින්ගමට, නගරයෙන්නගරයට යන ඔහු අවසානයේ "ග්‍රනාඩා" නගරයට එනවා. කාලයාගේ ඇවෑමෙන් ඔහුට මේ ජීවිතයත් එපා වෙනවා. දෙන ඔහුට වයස අවරුදු 40 කටත් වඩා වැඩියි. නමුත් ජීවිතේ කරපු දෙයක් නැහැ. ලෞකික දේවල නිස්සාරකම දිනෙන්දින ඔහුට වැටහෙන්න පටන් අරන්. ජීවිතේට අරුතක් හොයාගෙන ඉබාගාතේ යන ඔහු, නගරයට පැමිණි දේශනා කාර පියතුමෙක් ළඟ නවතිනවා. ඒ තමා සුප්‍රසිද්ධ අවිලාහි ශු. ජුවාම් මුනිතුමා . ශු. සෙබස්තියන් මුනිතුමන්ගේ මංගල්ලය දවසේ එතුමා කරන දේශනාවකට සවන්දෙන ජුවම්ගේ හිත පශ්ශත්තාපයෙන් පිරී ඉතිරී යනවා. ජීවිතේ වැරදුන තැන කරපු පාප, අශාපසුපස දිවයාමේ නිස්සාර කම තදින්ම දැනෙනවා. අකුනුසරයක් වගේ වැදුණු මේ වචන දරාගන්න අමාරු වෙන නිසාම දේශනය අවසානයේ  හඩමින් තමා හිස බිත්තිවල ගසාගනිමින්, පොළොවේ දිගදෙමින් තමුන්ගෙ පව් මහහඩින් ප්‍රසිද්දියේ කියන්නට පටන්ගන්නවා. හදවත පතුවෙන් එන දරාගත නොහැකි වේදනාව පිටවෙන්නේ ඔහුගේ ක්‍රියාකලාපය පිස්සෙකුට සමාන වෙන තරම් අසාමාන්‍ය බවක් ඔහුට ලබාදෙමින්. මේනිසා සාමාන්‍ය මිනිසුන් ඔහුව පිස්සෙක් ලෙස සලකන අතර කොලුගැටව් ගල්මුල්වලින් ඔහුට පහර දෙනවා, උසුළුවිසුළු කරනවා. ඔහුව මානසික රෝගියෙක් හැටියට සලකලා මානසික රෝගීන්ව හිරකර තබන , රෝහලකට සමාන තැනක අවරුදු ගණනාවක් ඔහුව හිරකර තබනවා.
මේ කාලයේ මානසික රෝගීන්ට සැලකුවේ හරිම අමානුෂික විදිහට. ප්‍රතිකාර හැටියට බොහෝවිට කලේ ඔවුනට හොඳහැටි තඩි බාන එක , සිහිය නැති වෙනතුරුම. වසර ගණනාවක්ම ජුවම්ගේ අත්දෙකීම වුනෙත් මේකය්. තමා ලබපු මේ අමානුෂික අත්දැකීම්, තමාවගේ පීඩාවිදින අනිත් අයගේ දුකට සංවේදී වෙන්න, ජීවිතේ ගැන, දෙවියන් ගැන, ගැඹුරින් හිතන්න ඔහුව පොහොසත් කළා.
 
 
පිස්සන් කොටුවෙන් එලියට ආවිගස ජුවාම් ග්වදලුපේ අප ස්වාමිදුවගේ දේවස්ථානය කරා වන්දනාගමනක යෙදෙනවා. ඔහුගේ ජීවිතේ දෙන අරමුණ දෙවියන් වෙනුවෙන්, තමා දුක්විදින සහෝදරයන්වෙනුවෙන් යමක් කරන්නය්. තමාවැනි මානසික රෝහල්වල දුක්විදින, ගුටිබැට වලට ලක්වෙන අහිංසක සෙනගට කරුණාව දක්වන්න, ඔව්න් තේරුම්ගන්න, ඔව්නට සැනසීමක් වෙන්න උත්සහකරන ජුවාම් තමුන්ගෙ මුළු ජීවිතේම දෙන ඒ වෙනුවෙන් කැපකරනවා. තමා අතින්ම ඔව්නට උපස්ථාන කරන්න, ඔව්නට සුවය දෙන්න ගන්න මේ උත්සාහය සමහරු දකින්නේ ජුවාම්ගේ "තවත් පිස්සු වැඩක් "හැටියට, එනිසාම ඔවුන් ජුවාම්ට උසුළුවිසුළු කරනවා. එත් සමහරු තේරුම් ගන්නවා ජුවාම්ගේ මේ සත්කාර්ය. ජුවාම්ට ඒ සදහා උදව්කරන්න, දායක වෙන්න ඔව්න් ඉදිරිපත් වෙනවා. මෙලෙස ඉදිරිපත්වෙන තරුණ ප්‍රිමි තමුන්ව "දයාවේ සොහොයුරන්" ලෙස හදුන්ව ගන්නවා. හැම දුක්විදින රෝගියෙක් තුල ජේසුව දකින්න උත්සහකරන ජුවාම්ට මෙලෙස තව අය එකතුවෙනවා.
ජීවිතේ හැමදාම හුදකලා මිනිසක් විදියට ජීවත්වුණ ජුවාම්, මරනයේදීත් හුදකලා මිනිසෙක්ම වුණා. 1550, මාර්තු 08 වෙනිදා 55 හැවිරිදි ජුවාම්ගේ මළසිරුර දනින්වැටි සිටින ඉරියව්වෙන්, ඔහුගේ සොහොයුරන්ට හමුවුණා.
මරණින් අවරුදු 80 කට පස්සේ ශු. සභාව ඔහුව භාග්‍යවරයත්, පසුව වසර කීපයකින් ශුද්ධවරයත් ඔසවනුලබුවා. පසුව ශු. ජුවාම් තුමාගේ ආදර්ශය අනුව රෝගීන්ට උපස්ථාන කරන්න, දුක්විදින රෝගීන් තුල ජේසු දකින්න බොහෝදෙනා රොක්වුණා. අද ලොව පුරා "දයාවේ සොහොයුරන්" ලෙස ඔවුන් රෝහල්වල, ඒඩ්ස් නිවහන්වල, ලෝකයේ ඇති දුෂ්කර ප්‍රදේශවල සේවය කරනවා.
කතෝලික ධර්ම  උපදේශය ගැන මහෝපදේශය" පොතේ මෙන්න මෙහෙම, කිතුනු ජීවිතේ අරමුණ ගැනත්, සුද්දවත් බව ගැනත් සදහන් වෙනවා. " කිතුණුවාගේ අරමුණ සුරලොව දිනාගෙන දෙවිදුන් දකීමය්. 
එම අරමුණ ලබා ගැනීම පිණිස මෙලොව ජීවිතය මාර්ගය වන්නේය. එම ජීවිත කාලය තුල දෙවිදුන්ට ප්‍රසන්නව දිවි ගෙවමින් තම අසල්වැසියාට ප්‍රේමකරන තැනැත්තේ සුරලොව දිනා ගන්නේය." 
"සුද්දවත්බව යනු කිමෙක්ද?
සුද්දවන්ත බව වනාහි සිල්වත් ජීවිතයක් මගින් දෙවිදුනට ලගාවීමය්. මේ සදහා සියල්ලට ඉහලින් දෙවිදුනට ප්‍රේම කලයුතු අතර දේව ප්‍රේමය නිසාම තමන්ට මෙන් අසල්වසියටත් ප්‍රේම කල යුතුය. මේ අරමුණ නිසාම අප කරණ සියලු ක්‍රියාවන් දේව ප්‍රේමයත් මහිමයත් සදහාම කරනු ලබන්නේය."
සරලව කිවොත් සුද්දවත් බව කියන්නේ අපි හැමෝටම තියන කැදවීමක්..... ඒ කියන්නේ ... අපි හැමෝගෙම ජීවිතේ අධිෂ්ටානය වෙන්න ඕන සුද්දවන්ත බවය්. 
අපිට ඉස්සර මේ ලෝකේ ජීවත් වෙච්ච, අපි වගේම දුක, වේදනාව, කදුළ හදුනන අපි වගේම හිනා වෙච්ච, විවිධ  තරාතිරම් වලට අයිති විවිධ රැකියා කරපු, විවිධ අධ්‍යාපන මට්ටම්වල හිටපු ශුධවන්තව ජීවත්වෙච්ච අය අද කතෝලික අපි සුදුවරයන්, එහෙමත් නැත්තම් සාන්තුවරයන් විදිහට සලකනවා. ඒ අයගේ පිහිට ආශීර්වාදය, මැදිහත් යැදුම් ඉල්ලනවා. 
ශ්‍රී ලාංකික කතෝලික අපිටත් ලෝකේ බොහෝ කතෝලිකයන්ට වගේම සාන්තුවර බැතිය හොඳට හුරුය්. අපේ හැම ගෙදරකම වගේ මරියතුමිගේ, ශුද්ධවූ අන්තෝනි මුනිනද්‍රයන්ගේ සුරුවමක් හරි පින්තුරයක් හරි තියෙනවමය්. අපි හැම කෙනෙකුටම වගේ සාන්තුවර මැදිහත් කමින් ජීවිතේ කොය්යම් හෝ මොහොතක පිහිටත් ලැබිල ඇති. ඒ නිසාම මම හිතුව අපේ කතෝලික විශ්වාශේ මේ උතුම් තෑග්ග ගැන තව ටිකක් විස්තර බෙදා ගන්න. 



මොකද සාන්තුවර ජීවිත අපිට ආදර්ශයක්. අපේ ජීවිත වලට ශක්තියක්. ජීවිතේ කරදර බාධක එද්දී, තව දුරටත් යන්න බැහැ කියල හිතෙද්දි, මේ සන්තුවරුන්ගේ  පිහිට වගේම උන්වහන්සේලා ඒවගේ අවස්ථාවල කොහොමද හැසිරුනේ කියන එකත් අපිට උදව්වක් වෙය්... ඉදිරියට යන්න... ඔන්න එහෙනම් පටන් ගත්ත අද මාර්තු 08 වෙනිදා ..... හැමෝටම ජේසු පිහිටය් කියාගෙනම