Thursday 8 March 2012

මාර්තු 08
දෙවිදුන්ගේ ශු. ජුවාම් මුනි තුමා (08-03-1495 සිට 08-03-1550)
 
 
 
     පෘතුගාලයෙන් බිහිවුණු ශු. අන්තෝනි මුනි තුමාව, ලාංකික අපි හැමෝම වගේ දන්නවා. ඒ නිසාම පෘතුගීසි සමයේ උන්වහන්සේව ලංකික කතෝලිකයෝ හැදින්වුවේ "පෘතුගීසි සාන්තුවරයා " කියල. ඒ තරමටම උන්වහන්සේ  ජනප්‍රියය්.
අද මාර්තු 08 වෙනිදා, අදට දීල තියෙන්නෙත් පෘතුගීසි සාන්තුවරයෙක්ගේම මංගල්‍ය දිනයක් තමය්. ඒ දෙවිදුන්ගේ ශු. ජුවාම් (John of God , Portuguese: São João de Deus ) මුනිතුමා.
1495 වසරේ මාර්තු 08 වෙනිදා පෘතුගාලයේ  ජාඕ සිදදේ කියන ප්‍රදේශයේ බොහොම බැතිමත් කතෝලික පව්ලකට දාව ඉපදුන මෙතුමා, දෙමාපිය ආදරය මැද වර්ධනය වුණා. නමුත් මොකක්දෝ හේතුවකට, වයස අවරුදු අට වෙද්දීම මේ පුංචි හිතට දඩබ්බර සිතුවිලි එන්න ගත්ත. ජුවාම් ගැන අපි අහන පළමු දෙයනම් ඒ නිසා ශුද්ධවන්ත ජීවිතයකට ඇතුලුවෙන දරුවෙකුගෙන් එන ආරංචියක් නෙවේ. ඒ ජුවාම් අවරුදු අටේ දී , කාටත් රහසින් ගෙදරින් පැන යන බව. දසපනතේ 4 වෙනි පදය ගැනනම් ජුවාම් ට කිසිම හන්ගීමක් තිබුනේ නැතිවග තම එයින් පේන්නේ. ජුවම්ට ඕන වුණා "ලෝකය දකින්න, ලෝකය විදින්න". එකම පුතාගේ අතුරුදහන්වීම දරාගන්න බැරුව මව සති කීපයකින්ම මියැදෙනවා. ජුවාම් ගේ පියා මාස කීපයක් ජුවාම් එනතුරු බලාන ඉඳන්, බැරිතැන ෆ්රන්සිස්කානු තාපසරමයකට ගිහි සහෝදරයෙක් විදියට ඇතුළුවෙනවා.
ත්‍රාසජනක අත්දැකීම් හොයාගෙන ස්පාග්නයට  (Spain ) යන ජුවාම් නවතින්නෙ එඩේර කොලුවෙක් වෙලා.
එඩේර ගාල අයතිකරුට තමුන්ගෙ  විස්තර නොකියන ජුවම්ට, නෙත්නම් මේ "අහසින් වැටුන" කොලුවට, හාමුපුතා "දෙවියන්ගේ ජුවාම්" කියල නම් තබනවා.
යොවුන් වියට එළඹෙන ජුවාම්ටදෙන ආයෙත් "ලෝකය දකින්න, විදින්න, ත්‍රාසජනක අත්දැකීම් ලබන්න" තමය් හිත. මෙනිසාම බැටළු රස්සාව අතහැර දාල, පස්වෙනි චාර්ල්ස් රෝම අධිරාජයාගේ හමුදාවට ඇතුළුවෙලා සොල්දාදුවෙක් විදියට සේවයකරන්න ඔහු පටන්ගන්නවා.
ඒ කාලේ සොල්දාදු ජීවිතේ කියන්නේ බොහොමයක් දුරට  කිසිම සදාචාරයක් නොදන්නා ජීවිතයක්, දුසිරිත්වලින් පිරුණු ජීවිතයක්. තරුණ ජුවාම මේ ජීවිතේ පතුලටම යනවා. ජුවාම් තුල යම්තරමකට හෝ තිබුන සදාචාරය, ආගමික විශ්වාසය මේ ජීවිතෙත් එක්ක සම්පූර්ණයෙන් අතුරුදහන් වෙනවා. මේ වෙනකොට ජුවාම්ගේ වයස අවරුදු 27 ක්. සොල්දාදුජීවිතේ විවිධ ප්‍රශ්න, චෝදනා වලට ඔහු ලක්වෙනවා. විටක සොරකම් චෝදනාවට පවා ලක්වෙන ඔහුව තම සේවයෙන් නෙරපාහරිනු ලබනවා. කාලයකට පස්සේ ඔහු නැවතත් එඩේර රැකියාවටම හරි එනවා.
එත් හිත නොසන්සුන්, ඔහු හොයපු කිසිදෙයක් ජීවිතේ ඔහුට ලැබෙන්නේ නැහැ. කලකිරීම, හුදකලාව ඔහුව දිනෙන්දින වෙලාගන්නවා. එත් ලෝකේ විදින්න, දකින්න ඔහුගේ තියෙන ආශාවට තවම නැවතුමක් නැහැ. මේ නිසාම ජුවාම් තමන්ගේ අලුත් රැකියාව හැටියට ගෙයින් ගෙට ගිහින් පොත්පත්, පින්තූර අලෙවිකරන්න පටන්ගන්නවා. ගමින්ගමට, නගරයෙන්නගරයට යන ඔහු අවසානයේ "ග්‍රනාඩා" නගරයට එනවා. කාලයාගේ ඇවෑමෙන් ඔහුට මේ ජීවිතයත් එපා වෙනවා. දෙන ඔහුට වයස අවරුදු 40 කටත් වඩා වැඩියි. නමුත් ජීවිතේ කරපු දෙයක් නැහැ. ලෞකික දේවල නිස්සාරකම දිනෙන්දින ඔහුට වැටහෙන්න පටන් අරන්. ජීවිතේට අරුතක් හොයාගෙන ඉබාගාතේ යන ඔහු, නගරයට පැමිණි දේශනා කාර පියතුමෙක් ළඟ නවතිනවා. ඒ තමා සුප්‍රසිද්ධ අවිලාහි ශු. ජුවාම් මුනිතුමා . ශු. සෙබස්තියන් මුනිතුමන්ගේ මංගල්ලය දවසේ එතුමා කරන දේශනාවකට සවන්දෙන ජුවම්ගේ හිත පශ්ශත්තාපයෙන් පිරී ඉතිරී යනවා. ජීවිතේ වැරදුන තැන කරපු පාප, අශාපසුපස දිවයාමේ නිස්සාර කම තදින්ම දැනෙනවා. අකුනුසරයක් වගේ වැදුණු මේ වචන දරාගන්න අමාරු වෙන නිසාම දේශනය අවසානයේ  හඩමින් තමා හිස බිත්තිවල ගසාගනිමින්, පොළොවේ දිගදෙමින් තමුන්ගෙ පව් මහහඩින් ප්‍රසිද්දියේ කියන්නට පටන්ගන්නවා. හදවත පතුවෙන් එන දරාගත නොහැකි වේදනාව පිටවෙන්නේ ඔහුගේ ක්‍රියාකලාපය පිස්සෙකුට සමාන වෙන තරම් අසාමාන්‍ය බවක් ඔහුට ලබාදෙමින්. මේනිසා සාමාන්‍ය මිනිසුන් ඔහුව පිස්සෙක් ලෙස සලකන අතර කොලුගැටව් ගල්මුල්වලින් ඔහුට පහර දෙනවා, උසුළුවිසුළු කරනවා. ඔහුව මානසික රෝගියෙක් හැටියට සලකලා මානසික රෝගීන්ව හිරකර තබන , රෝහලකට සමාන තැනක අවරුදු ගණනාවක් ඔහුව හිරකර තබනවා.
මේ කාලයේ මානසික රෝගීන්ට සැලකුවේ හරිම අමානුෂික විදිහට. ප්‍රතිකාර හැටියට බොහෝවිට කලේ ඔවුනට හොඳහැටි තඩි බාන එක , සිහිය නැති වෙනතුරුම. වසර ගණනාවක්ම ජුවම්ගේ අත්දෙකීම වුනෙත් මේකය්. තමා ලබපු මේ අමානුෂික අත්දැකීම්, තමාවගේ පීඩාවිදින අනිත් අයගේ දුකට සංවේදී වෙන්න, ජීවිතේ ගැන, දෙවියන් ගැන, ගැඹුරින් හිතන්න ඔහුව පොහොසත් කළා.
 
 
පිස්සන් කොටුවෙන් එලියට ආවිගස ජුවාම් ග්වදලුපේ අප ස්වාමිදුවගේ දේවස්ථානය කරා වන්දනාගමනක යෙදෙනවා. ඔහුගේ ජීවිතේ දෙන අරමුණ දෙවියන් වෙනුවෙන්, තමා දුක්විදින සහෝදරයන්වෙනුවෙන් යමක් කරන්නය්. තමාවැනි මානසික රෝහල්වල දුක්විදින, ගුටිබැට වලට ලක්වෙන අහිංසක සෙනගට කරුණාව දක්වන්න, ඔව්න් තේරුම්ගන්න, ඔව්නට සැනසීමක් වෙන්න උත්සහකරන ජුවාම් තමුන්ගෙ මුළු ජීවිතේම දෙන ඒ වෙනුවෙන් කැපකරනවා. තමා අතින්ම ඔව්නට උපස්ථාන කරන්න, ඔව්නට සුවය දෙන්න ගන්න මේ උත්සාහය සමහරු දකින්නේ ජුවාම්ගේ "තවත් පිස්සු වැඩක් "හැටියට, එනිසාම ඔවුන් ජුවාම්ට උසුළුවිසුළු කරනවා. එත් සමහරු තේරුම් ගන්නවා ජුවාම්ගේ මේ සත්කාර්ය. ජුවාම්ට ඒ සදහා උදව්කරන්න, දායක වෙන්න ඔව්න් ඉදිරිපත් වෙනවා. මෙලෙස ඉදිරිපත්වෙන තරුණ ප්‍රිමි තමුන්ව "දයාවේ සොහොයුරන්" ලෙස හදුන්ව ගන්නවා. හැම දුක්විදින රෝගියෙක් තුල ජේසුව දකින්න උත්සහකරන ජුවාම්ට මෙලෙස තව අය එකතුවෙනවා.
ජීවිතේ හැමදාම හුදකලා මිනිසක් විදියට ජීවත්වුණ ජුවාම්, මරනයේදීත් හුදකලා මිනිසෙක්ම වුණා. 1550, මාර්තු 08 වෙනිදා 55 හැවිරිදි ජුවාම්ගේ මළසිරුර දනින්වැටි සිටින ඉරියව්වෙන්, ඔහුගේ සොහොයුරන්ට හමුවුණා.
මරණින් අවරුදු 80 කට පස්සේ ශු. සභාව ඔහුව භාග්‍යවරයත්, පසුව වසර කීපයකින් ශුද්ධවරයත් ඔසවනුලබුවා. පසුව ශු. ජුවාම් තුමාගේ ආදර්ශය අනුව රෝගීන්ට උපස්ථාන කරන්න, දුක්විදින රෝගීන් තුල ජේසු දකින්න බොහෝදෙනා රොක්වුණා. අද ලොව පුරා "දයාවේ සොහොයුරන්" ලෙස ඔවුන් රෝහල්වල, ඒඩ්ස් නිවහන්වල, ලෝකයේ ඇති දුෂ්කර ප්‍රදේශවල සේවය කරනවා.

2 comments:

  1. හොඳ වැඩක් දිගටම ලියන්න..

    පසුතලය නම් සුපිරියි..බ්ලොගයේ නමටම ගැළපෙන්න තියෙනවා..

    විස්තරෙත් හොඳයි..

    විස්තර ඡේද වශයෙන් වෙන්කර ඡේද අතර ඉඩ තබා ලියන්න.. කියවන්නන්ට පහසුවක් වෙයි... අනික justify කරන්න Microsoft word වල වගේ justify කරන්න පුලුවන්.

    මගේ බ්ලොගයේ තියෙන සින්ඩි වල ලියාපදිංචි වන්න..

    ස්තුතියි!

    අනික word verification අයින් කරන්න..

    ReplyDelete
    Replies
    1. හරී, උපදෙස් ටිකනම් හරියට වටිනවා. ! බොහොම ස්තුතිය්. එත් මම කවදාවත් IT කරලා නැති නිසා වචනමාලාව තවම ටිකක් හුරුමදි, justifiaction ගැන මමදන්නේ ලුතර් සහ කතෝලික සභාව අතර මේ වචනේ සම්භන්ධයෙන් ඇතිවුන පල හිලව්ව විතරය් .. ටිකක් මට කල් දෙන්න වැඩේ හරියටම හොයා ගන්නකම්. word verification අයින් කරන හැටි ගැන නම් දැනුමක් නැහැ .. මම ට්‍රය් කරලා බලන්නම් .. ස්තුතිය් අයෙත් වතාවක්

      Delete